සාර්ථකත්වයට රහස් යතුරක්

සාර්ථකත්වයට රහස් යතුරක්
ඕනෑම පුද්ගලයෙකු වඩාත් සාර්ථක මිනිසෙකු බවට පත් කරනුයේ ඔහුගේ සමාජ වටපිටාවයි. සාර්ථක සමාජ සබඳතා ගොඩනගා ගත හැකි පුද්ගලයෙකුගේ කීර්තිය, යසස නිතැතින්ම අන්‍යයන් අතර ප‍්‍රචලිතවේ. ඔබගේ හැසිරීම සහ ගතිගුණ මත, සමාජයේ පිළිගැනීමට හෝ ප‍්‍රතික්ෂේපවීමකට ලක්වෙයි. යම් ගෙයකින් සමාජයෙන් ප‍්‍රතික්ෂේපවීමට ලක්වූ ව හොත් එය ඔබගේ ඉදිරි ජීවිතයට බලපෑම් කරනු ලබන අනිවාර්ය සාධකයක් වනු ඇත. නමුත් වඩාත් යහපත් වූ සමාජ සබඳතාවක් ඔබට ඇතිකර ගැනීමට අවශ්‍යනම් කරන්නට ඇත්තේ ඉතා සුලු කරුණු කීපයක් අනුගමනය කිරීම පමණකි.
හොඳ සවන්දෙන්නෙකු වීමපුද්ගලයකු වශයෙන් ඔබගේ ප‍්‍රතිරූපය සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත් වීමට පමණක් නොව ඔබගේ යහපත් ගතිගුණයක් ලෙසද මෙය හඳුන්වා දිය හැකිය. හොඳ සවන්දෙන්නෙකු වීම යනු, තොරතෝංචියක් නොමැතිව, අනවශ්‍ය කතාබහේ යෙදීම නොවේ. වෙනත් අයෙකු යමක් ඔබට පැවසීමට ඔබව තෝරාගනු ලබන්නේ ඔබ පිළිබඳ පූර්ව විශ්වාසය තබමිනි. නමුත් ඔබ ඔහුට ඇහුම්කන්දීමට පෙර, ඔබේ කියවිල්ල කරදරකාරී වන්නේ නම් නැවතත් ඔහු කෙදිනකවත් ඔබව තෝරා නොගනු ඇත. හොද සවන් දෙන්නෙකුවීම මගින් ඔබගේ ඉවසීම, කැපවීම අනෙකාට වටහාගන්නට ඇති හේතුවක් වන අතරම, නිරායාසයෙන්ම ඔබ අන්‍යයන්ට පි‍්‍රය පුද්ගලයෙකු බවට පත් කරවයි. රාජකාරි ස්ථානයේදී වුවත්, මිතුරන් සමග සතුටු සාමීචියේ යෙදෙන විට වුවත් විවාහ ජීවිතයේදී වුවත් ඔබව, සාර්ථක, වටිනා පුද්ගලයෙකු බවට පත්කරන්නට මෙය හේතුවක් වන බව ඉතා හොඳින් මතක තබා ගත යුතුය.
රහස් රකින්නෙකු වීමසමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙකු වීමට පෙර ඔබ, සමාජයට විශ්වාසදායක පුද්ගලයෙකු විය යුතුය. ඔබව විශ්වාසයේ තබා ගනිමින් අයෙක් ඔබට අතිශය පුද්ගලික කාරණාවක් කීවේ යැයි සිතමු. එම පුද්ගලික කරුණ ඔබට පමණක් පැවසුයේ එය ප‍්‍රසිද්ධියේ කිව නොහැකි, අනෙක් කිසිවෙකු දැන නොගතයුතු කරුණක් වන නිසයි. නමුත්, ඔබට කියූ එම රහස ඔබෙන් හෙළි වුවහොත්, ඔබ පිළිබඳ තබා තිබූ විශ්වාසයට කුමක් වේද? මේ නිසා පළමුවෙන්ම ඔබට රහස කියූ තැනැත්තා අපහසුවට පත්වන අතර දෙවනුව ඔබ පත්වන්නේ ඊටත් වඩා අපහසුකාරී තත්ත්වයකට බව මතක තබා ගත යුතුය. නැවතත් කිසිදු පුද්ගලයෙකු ඔබව විශ්වාස කිරීමට නොපෙළඹෙනු ඇත. ඔබගේ එවැනි කි‍්‍රයාවකින්් නැවතත් ඔහු ඔබගේ මුහුණ දෙසවත් නොබැලීමට පවා ඉඩ ඇත. රහස් රකින්නෙකු වීමට ඔබට නොහැකි වමෙන් සිදුවන්නේ, ඔබටත්, සමීපතමයෙකු අහිමිවනවා පමණක් නොව, සමාජයේ සෙසු පුද්ගලයන් ඉදිරිපිට ඔබ අවිශ්වාස සහගත පුද්ගලයකු වීමයි. එසේ නම් අනෙකා ඔබව විශ්වාස කළ තරමටම ඔබ එම විශ්වාසය රැකදිය යුතුමය.
අන්‍යයන්ගේ පෞද්ගලිකත්වය ගරු කිරිමසමාජයේ වෙසෙන ඕනෑම පුද්ගලයෙකුටම ඔහුටම ආවේනික වූ පෞද්ගලිකත්වයක් තිබේ. එම පෞද්ගලිකත්වයට අනිසි ලෙස මැදිහත් වීම යනු ඔහුට උපතින්ම හිමිව ඇති අයිතියකට බලපෑම් කිරීමකි. ඔබේ පෞද්ගලික කරුණු අන්‍යයන් දැන නොගත යුතු සේම,, අනෙකාගේ පෞද්ගලිකත්වය ද අනිවාර්යෙන් ම ගරු කළ යුතුමය. “අරයා මෙහෙම කෙනෙක්නේ” එයාගේ ගෙදර රණ්ඩු” මෙවැනි ඕපාදූප සමාජශීලි ඔබට ගැලපන කතා බහ නොවේ. ඔබ “ඕපාදූප” දොඩවන, නිතරම අනුන්ගේ දෑ සොයන නිකරුනේ කාලය ගත කරන,, කරදරකාරී පුද්ගලයෙකු නොවිය යුතුය. ඔබ අන්‍යයන්ගේ පෞද්ගලික ජීවිතයට අනවශ්‍ය ලෙස එබී බලන පුද්ගලයෙක් නම් අනිවාර්යෙන්ම ඔබට නොදැනීම ඔබ සමාජයෙන් පිටමංවීම වැලැක්විය නොහැකි වනු ඇත.
අන් මත ඉවසීම සහ නිවැරැදි අදහස් පිළිගැනීමඔබ ඇසුරු කරන්නන් සැමවිටම ඔබගේ මත පමණක් පිළිගැනීමට සූදානම් නොමැති බව සිහිතබා ගත යුතුය. අන් මත ඉවසීම සහ ඊට ගරු කිරීමෙන් ඔබගේ මහත්මා ගුණය අන්‍යයන් නිතැතින්ම වටහා ගනු ඇත. අනෙක් අතට ඔබගේ ඉවසිලිවන්තකම  එය කදිම මාර්ගයකි. එයාට විහිලු තේරෙන්නේ නෑ. එයා කවුරුවත් කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි. මෙවැනි දෑ ඔබට නිතරම අසන්නට ලැබී ඇත. මෙවැනි කතාබහෙන් කියැවෙන්නේ වෙනත් අයෙකුගේ මතයක් වචනයක් ඉවසීමේ පුරුද්දක් ඔබට නැති බවයි. සමාජයට ඔබ මිත‍්‍රශීලි අයෙක් වීමට නම් අනිවාර්යෙන්ම ඔබ ඕනෑම තරාතිරමෙක පුද්ගලයෙකුගේ මත අදහස් ඉවසීමට පුරුදු විය යුතුමය. ඉන් කියැවෙන්නේ අනෙකා පවසන ඕනෑම කරුණක් ඉවසා සිටීම නොවේ. ඇතැම් පුද්ගලයන් තම අදහස වැරැදි බැව් දැන දැනම එය අන්‍යයන්ට ඒත්තු ගැන්වීමට වෙහෙස දරයි. ඔහු විශ්වාස කරනුයේ ඔහුගේම අදහස් පමණකි. නමුත් ඔබගේ අදහස් නිවැරැදි නොවන බව ඔබට වටහාදීමට උත්සාහ දරන අනෙකාගේ අදහස් පිළිගැනීමට ඔබ පසුබට වන්නේ ඇයි මෙය ඔබේ උද්දච්චකම, අහංකාරකම, මාන්නය අන්‍යයන්ට පෙන්වීමට ඇති අවස්ථාවක් ලෙස ඔබට හැඟුනත් ඔබව සමච්චලයට හෑල්ලුවට ලක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. යහපත් සමාජ සබඳතාව ඔබෙන් ඈත් කරන්නට ඔබගේ මෙම ගුනාංගය ඉවහල් වන බව සිතේ තබා ගත යුතුය.
පරාර්ථකාමි වන්නආත්මාර්ථකාමිත්වය ඔබගේ සාර්ථකත්වය දිනෙන් දින ආපස්සට තල්ලු කර දමන හේතුවක් වනු ඇත. ඔබ අන්‍යයන්ට හැකි පමණින් උදව් උපකාර කරන අයෙක් නම්,, එහි ප‍්‍රතිඵලය ඔබට කෙදිනෙක හෝ ලැබෙනු ඇත. බුදු දහමේ පවා දේශනා කර ඇත්තේ පරාර්ථකාමිත්වයෙන් යහපත් වූ ප‍්‍රතිඵල අත්කර දෙන බවය. මෙයින් කියැවෙන්නේ ඔබ සතු සියල්ල අන්‍යයන් වෙත ලබාදීම නොවේ. වචනයෙන් පවා පරාර්ථකාමියෙකු වීමට ඔබට පුලුවන. සමාජයේ වෙසෙන්නන් හා යහබපත් සබඳතාවන් ගොඩනගා ගැනීමට ඔබ සතු පරාර්ථකාමිත්වය ඉවහල් වේ.
සමාව දීමට පුරුදු වන්නසමාව දීම දේවගතියක් යැයි පැරැණි කියමනක්ද තිබේ. ඉන් කියැවෙන්නේ සමාව දීම වටිනා කි‍්‍රයාවක් වන බවයි. වැරදි සිදුවීම ඕනෑම සාමාන්‍ය පුද්ගලයෙකු අතින් සිදුවිය හැකි දෙයක් වුවත් සමාව ලබාදීම සෑම පුද්ගලයෙකුටම කළ හැකි දෙයක් නොවේ. නමුත් අනෙකාගේ ඕනෑම වැරැද්දකදී සමාව දීම ඇතැම් විට ඔහුගේ හෝ ඇයගේ වැරැදි සඳහා අනුබලයක් ලැබෙන අවස්ථාද ඇත. එහිදී ඔබ බුද්ධිමත් අයෙක් ලෙසට ඔබට සියලු දෑ හොඳින් විමසා බැලීමට ශක්තියක් ඇත. ඒ අනුව ඔබ කි‍්‍රයාකල යුතුය. සමාවදීම යන්න ඔබ හා අනෙකා අතර ඇති බැදීම තව තවත් ශක්තිමත් කරනු ඇත. ඔබගේ සමාව දීම අනෙකාගේ ජීවිතයට යහපත් ආකල්ප, විශ්වාසය එක් කරනු ඇත. මෙය කළ යුත්තේ අන්‍යයන් අතර ඔබව කැපී පෙනෙන්නට නොව, ඔබගේ සිතට එකඟව බවද මතක තබා ගත යුත්තකි.
ආත්ම ශක්තිය ගොඩනගා ගන්නසමාජයේ වෙසෙන පුද්ගලයෙකු වශයෙන් නොයෙකුත් හැල හැප්පීම් තාඩන පීඩනයන්ට මුහුණදීමට කාටත් සිදුවේ. මෙවැනි අවස්ථාවකදී ඊට සාර්ථකව මුහුණදීමට නොහැකිව ඉන් පලායාමට තැත් කරන්නේ නම් ඔට කෙදිනකවත් සමාජයේ සාර්ථක පුද්ගලයෙකු වීමට නොහැකි වනු ඇත. ගඟක් එක දිගට ගලන කොට ලස්සන නෑ. මේ සරල කියමනෙන් පවා කියැවෙන්නේ බාධක, කරදර ආදියෙන් ජීවිතය ආලෝකමත් කරගත හැකි බව නොවේද? වඩාත් ශක්තිමත්ව, ධෛර්යය සම්පන්න පුද්ගලයෙකු ලෙස අනාගතයට ගමන් කිරීමට ඔබට ඉඩ ලැබෙන්නේ, විවිධාකාර අභියෝගයන්ට ප‍්‍රශ්නවලට මුහුණ දීමෙනි. ඔබගේ ආත්ම ශක්තියේ ප‍්‍රමාණය මත ඔබේ ඉදිරි මග සාර්ථක හෝ අසාර්ථක වනු ඇත. ඔබගේ ආත්ම ශක්තිය සමාජ සබඳතාවන් ශක්තිමත් කරනවා පමණක් නොව, ඔබගේ ප‍්‍රතිරූපය, පෞරුෂය සමාජයේ කැපීපෙනෙන අයෙක් බවට පත් කරනු ඇත.මේ සියල්ල ඔබට යහපත් වූ සමාජ සබඳතාවකට මුල්වන ප‍්‍රධාන කරුණු කාරණා වෙයි. ඔබගේ ආත්ම ශක්තිය වඩාත් ශක්තිමත් වීම, ඉවසීම, ඉක්මනින් කෝප නොවීම, දිසි තීරණයන්ට නොඑළැඹීම නිහතමානීබව ආදී සියල්, ඉහත කරුණු අනුගමනය කිරීමෙන් අත්වන ප‍්‍රතිලාභ වේ.

No comments:

Post a Comment